කොස්ගොඩදී පුද්ගලයින් හතර දෙනෙකු ඝාතනය කිරීමේ සිද්දියට සම්බන්ද සැකකරුගේ තවත් තොරතුරු රැසක් එලියට.

කොස්ගොඩ සිව් පුද්ගල ඝාතනය මෙහෙයවූ කොස්ගොඩ තාරුක නමැති පාතාල සාමාජිකයා බැංකු කොල්ලකෑම් කිහිපයක් සඳහා අවශ්‍ය ප්‍රධාන සැකකරුවෙකු බව අනාවරණ වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ සැකකරු අතුරුගිරිය ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සිදුවූ කොල්ලය ද මෙහෙයවා ඇති බවයි. මීට අමතරව මෙම පුද්ගලයා කළුතරදී බන්ධනාගාර බස් රථයට වෙඩි තබා පාතාල නායක සමයං ඝාතනය කිරීමේ සිද්ධියටද සම්බන්ධ බවට හෙළි වී තිබෙනවා.

කොස්ගොඩ ප්‍රදේශයේ ස්ථාන තුනකදී පෙරේදා අලූයම සිදුවූ මෙම වෙඩි තැබීම්වලින් එකම පවුලේ පියා, පුතුන් දෙදෙනා ඇතුලූ සිව්දෙනෙකු මියගියා. වෙඩි තැබීමෙන් 15 හැවිරිදි පාසල් සිසුවෙකු තුවාල ලැබූ අතර, ඔහු තවදුරටත් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. මූලික පොලිස් පරික්ෂණවලදී හෙළිවූයේ කලක් තිස්සේ පවතින පාතාල ගැටුමක ප්‍රතිඵලයක් ලෙස ඝාතන සිදුව ඇති බවයි.මීට මාස කිහිපයකට පෙර කොස්ගොඩ තාරුක නැමති පාතාල කල්ලි නායකයාගේ සගයෙකු වන කොස්ගොඩ ලොකුවා නැමැත්තා වෙඩි තැබීමකින් මියගියා.

ඊට කොස්ගොඩ සුජී නැමති පාතාල සාමාජිකයා ද සහාය ලබාදී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මිය ගිය පුද්ගලයින් මෙම කොස්ගොඩ සුජී නැමැත්තා සමඟ සබඳතා පවත්වා ඇති අතර, ඒ හේතුවෙන් මෙම ඝාතන සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

උපුටා ගැනීම 24newslanka.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *