ලංකාවේ බොහෝ දෙනෙකුගේ ජනප්‍රිය වාසගම් 22ක ඔබ නොදත් ඇත්තම තේරුම මෙන්න බලන්නකෝ.

සට කපට වෙළඳ ජාතියක් ලෙස හැඳින්විය හැකි පෘතුගීසින්ද ඊට නොදෙවෙනිව කෝට්ටේ රජුගෙන් ඉල්ලා සිටියේ ‘ගෙරි හමක් එළා ගැනීමට’ පමණක් සුදුසු බිම් කඩක් තමන්ට ලබා දෙන ලෙසය. එතරම් ‘සුළු’ ඉඩක් ලබා ගැනීමට අවසර නොදීමට විජයබාහු රජුට ද හේතුවක් නොවූ බව පෙනී ගිය බැවින් අද‌ාළ අවසරය දානය කරනු ලැබීය. එහෙත් ඉන්පසු මේ පෘතුගීසින් කළේ ගෙරි (හරක්) හම කීතු කීතුවලට ඉරා ඉතා සිහින් පටි ලෙස ගෙන කොළඹ වරාය ආශ්‍රිතව විශාල ප්‍රදේශයක් වට කරගෙන විශාල බලකොටුවකට පදනම් දැමීය. ක්‍රි.ව 1505 දී ලංකාවට ගොඩබට පෘතුගීසින් කොයි අන්දමින් නමුත් මෙරට දේශපාලනයට ගාවා ගැනීමට අපේ රජදරුවන් ක්‍රියාකළ බැවින් දිවයින වටා වෙරළ තීරයම 1658 දක්වා පෘතුගීසි ආක්‍රමණයට නතුවිය.

ලංකාව ආක්‍රමණය කළ බටහිර ජාතීන් තුන අතරින් අපේ සංස්කෘතියට විශාල බලපෑමක් කළ ජාතියක් ලෙස පෘතුගීසින් හැඳින්විය හැකිය. ඉන්දියානු සාගරය හරහා කොහේටදෝ යාත්‍රා කරමින් සිටින අතර 1505 දී කුණාටුවකට හසු වී ලංකාවේ ගාලු වරාය ආශ්‍රිත ප්‍රාදේශයකට ගසාගෙන ආ ලොරෙන්සෝද අල්මේයිදා ප්‍රමුඛ නාවුකයන් සහ එකිනෙකා හා කුළල් කා ගත් දේශීය පාලකයන් නිසා ලංකා ඉතිහාසය තුළ පෘතුගීසි බලපෑමක් පිළිබඳ කතා පුවතකට ඉඩ හසර විවර විය. මේ විදේශිකයන් සම්බන්ධයෙන් එකල කෝට්ටේ රජ කළ VII විජයබාහු රජු දැක් වූ ආකල්පය ‘පරංගියා කෝට්ටේ ගියා වගේ’’ යන කියමන හා ඒ හා බැඳි ඉතිහාසයෙන් පැහැදිලි වේ. කොළඹ සිට කෝට්ටේට වැඩි දුරක් නැතත් එය බොහෝ දුර බව ඇඟවීම පිණිස පරංගියා කොළඹ සිට ‘වටවන්දනාවක’ රැගෙන ගොස් අවසන කෝට්ටේ නගරයට ප්‍රවිශ්ඨ කරවීමට සිංහල රජු ක්‍රියා කිරීම එම ආකල්පයේ එක් ප්‍රකාශනයකි.

1505 දී ලංකාවට ගොඩබට පෘතුගීසීන්ගේ මූලික අරමුණ වෙළඳාම මිස ධර්ම ප්‍රචාරය නොවූ බව පැහැදිළිවන්නේ ඉන් තිස් තුන් වසරක් ගත වන තුරු එනම් 1538 වන තුරු කතෝලික ධර්ම දූතයන් මෙරටට ගෙන්වා ගැනීමට පෘතුගීෂින් උනන්දු නොවූ බැවිනි. කෙසේ වෙතත් පෘතුගීසීන් ලංකාවට ගෙනා දේ අතර අලංකාරම තිළිණය කතෝලික දහම වූ බව පැහැදිලි වුවත් ඔවුන් වෙසෙසින් බෞද්ධ – හින්දු ධර්මයන් පිළිබඳව දැක් වූ ප්‍රතික්‍රියාව නම් අද කාලයේ මානසිකත්වයෙන් බලන විට නම් කොහෙත්ම කළ අනුමත කළ නොහැකිය. මන්ද, එකල පොදු කතෝලික ඉගැන්වීම වූයේ ‘Extra ecclesiam nulla salus’ (එක්ස්ට්‍රා එක්ලේසියාම් නුල්ලා සාලුස්) එනම් (කතෝලික) සභාවෙන් පිටත ගැළවීමක් නොමැත යන්නය. ඒ අනුව අන් ආගම් අදහන අයට ගැළැවීමක් නැතැයි යන අදහසින් පෙළඹී ඔවුන්ට හොඳින් හෝ නරකින් තම ආගම ‘පෙවීමට’ ගත් උත්සාහයන් ඉතිහාසය තුළ අපට දැකගත හැකිය.

සමහර අන්තවාදී ඉස්ලාම්වරුන් අද පවා මෙබඳු මානසිකත්වයකින් අන්‍යාගම් දෙස බලන බව පෙනී යයි. මෙම මානසිකත්වය කතෝලිකයන්ගෙන් නිල වශයෙන්ම පහකර දැමූ 1962 – 65 දක්වා මුළු දුන් තීරණාත්මක II වතිකාන මහා සම්මන්ත්‍රණ සභාව තම ප්‍රකාශන එකක් නොව දෙකක්ම මගින් අන්‍යාගම් තුළ ද සත්‍ය​යේ බීජ අඩංගු වන බව ප්‍රකාශ කරන ලදී. 16 සියවසේ බොහෝ ධර්ම දූතයන් සිදු කළ වරදක් වූයේ ධර්මයද සමගින් තම තමාගේ සංස්කෘතිය ද අන් ජාතීන්ට ලබාදීමට උත්සාහ කිරීමයි. ‘ඔවුන් කතෝලික දහමද සමගින් යුරෝපීය සංස්කෘතිය ද අපට ලබාදුන් බැවින් මේ දෙක එකිනෙකින් වෙන් කර ගැනීමට මෙරට කතෝලිකයන්ට නොහැකිව ඇති’’ යි පසුකාලීනව දේශානුරූපී කතෝලික ජනතාවක් ගොඩනැගීමට උර දුන් පූජක සිරි ඔස්කා අබයරත්න පියතුමා ප්‍රකාශ කර සිටියේ එබැවිනි.

16 වැනි සියවසේදී ලාංකිකයකු කතෝලික දහම වැළඳගැනීම සපුරාම පෘතුගීසි සංස්කෘතිය වැළඳගැනීමක් වූ බව පෙනී යයි. මන්ද භෞතිස්ම කරනු ලැබූ අයගේ නම් පමණක් නොව වාසගම් ද පෘතුගීසිකරණයට ලක් වූ බැවිනි. කුසුමාසන දේවිය දෝන කතරිනා වන්නේත්, කරලියැද්දේ බණ්ඩාර දොන් ෆිලිප් වන්නේත් ඒ අනුවය. කෝට්ටේ යුගයේ සුපතළ හෙළ කිවි​ෙඳකු වන සුභාෂිතයේ කර්තෘ අලිගියවන්න මුකවෙටි තුමාද වරක් බෞතිස්ම කරනු ලැබ දොන් ජෙරනිමෝ ලෙස කතෝලිකයකුව සිටි බවත් ඒ කාලය තුළ ‘කොන්ස්තන්තීනු හටන’ නමින් පෘතුගීසි සේනාධිපතියකු වර්ණනා කරන කාව්‍ය සංග්‍රහයක් රචනා කළ බවත් වැඩි කතාබහකට ලක්වන්නේ නැත. කෙසේ වෙතත් අපගේ මෙම ලිපියෙහි මූලික අරමුණ ලංකාවේ පෘතුගීසි ඉතිහාසය ගැන කතා කිරීම නොව ඔවුන්ගේ බලපෑමෙන් අප රට තුළ අදටත් භාවිත පෘතුගීසි පෙළපත් නාම හා ඒවායේ අලගිය මුලගිය තැන් හා අර්ථයන් සොයා බැලීම හා ඒ ගැන කෙටි විමර්ශනයක යෙදීමය.

ලංකාවේ පහතරට ප්‍රදේශවල, ඉනුත් විශේෂයෙන් පුත්තලමේ සිට මාතර දක්වා වෙරළ තීරයේ ජනයා අතරින් බහුතරයක් එකල කතෝලික දහම වැළඳගෙන පෘතුගීසි වාසගම් ලබාගත් බව පෙනී යන නමුත් මන්නාරම, යාපනය, ත්‍රිකුණාමලය හා මඩකලපුව වැනි දෙමළ ජන බහුතරය සිටින ප්‍රදේශවල ජනයා කතෝලික දහම වැළඳගත්ත ද ඔවුන් සිංහලයන් තරම් පෘතුගීසි වාසගම් ලබා නොගත්තේදැයි ඔවුන්ගේ වාසගම් විමසා බලනට කල්පනා කළ හැකිය. එහෙත් ලන්දේසි පීඩනය හා කුල පීඩනය ආදිය නිසා කළුතර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ජනයා විශාල වශයෙන් කතෝලික විශ්වාසය හැර දමන්නට ඇතැයි 16-17 සියවස්වල කතෝලික ධර්මදූතයන්ගේ වාර්තා සහ වත්මන් ආගමික ජනගහනය සසඳ‌ා බලන විට කල්පනා කළ හැකිය. කෙසේ වෙතත් එම ජනයා තමන්ට ලැබුණු පෘතුගීසි වාසගම් අද පවා භාවිත කරන බව පෙනී යයි. බෞද්ධයන් අතර පවා පෙරේරා, සිල්වා, ප්‍රනාන්දු, කුරේ, ඩයස් ආදී බොහෝ පෘතුගීසි වාසගම් භාවිත වන්නේ එබැවින්ය යන්න අපගේ අදහසය. පෙර කී ලෙසම ලාංකික අපට උරුම වූ පෘතුගීසි පෙළපත් නාම මොනවාදැයි දැන් අපි විමසා බලමු.

මෙම වාසගම් බොහෝ විට පෘතුගීසි, ස්පාඤ්ඤ, ලතින් හා ජර්මානු ආභාසයෙන් පෘතුගීසින් හරහා අපට ලැබිණැයි කල්පනා කළ හැකිය. එසේම මේ පෙළපත් නාම අද වන විට අප විසින් අපගේ ඌරුවට, හැඩයට යළි සකසා ඇති බව ද නිරීක්ෂණය කළ හැකිය. අප අතර භාවිත මෙම පෘතුගීසි වාසගම් මොනවාදැයි දැන් අපි සොයා බලමු. සිල්වා, පෙරේරා, ප්‍රනාන්දු, ඩයස්, මෙන්ඩිස් (මැන්දිස්) කුරේ ද මෙල්, කෘෘස්, පීරිස්. පාරිස්, ගෝමස්, ගෝමිස්, වාස්, ​ෙෆාන්සේකා, අල්විස්, අල්මේදා, කබ්‍රාල්, නෝනිස්, සොයිසා, සුවාරිස්, රොද්‍රිගු, රුබේරු, කොරයා සහ පැස්කුවල් මෙබඳු ලාංකික – පෘතුගීසි වාසගම් අතර කැපී පෙනෙයි.

මා රෝමයේ ලතෙරාන සසුන් සරසවියේ අධ්‍යාපනය ඇරඹූ මුල් කාලයේ අපගේ ඉතාලි භාෂා පන්තියේ සිසු සිසුවියන් එකිනෙකා හඳුනා ගන්නා අතරතුර මාගේ නමටද ‘ඩයස්’ යන වාසගම ඇතුළත් බව දුටු එක් මොසැම්බික් ජාතික මා මිතුරු පියතුමෙකු ‘අහා උඹත් පෘතුගීසියෙකුදැයි’ හඬ නගා මාගෙන් විමසා සිටියේය. මා තුළ ඒ සැණෙකින් ඇති වූයේ ලජ්ජාවකි. ලොව දිළිඳුම රටවල් අතර ද දිළිඳුම රටක් සේ පිළිගැනෙන අප්‍රිකාවේ මොසැම්බික් දේශය අදටත් පෘතුගීසි යටත් විජිතවාදයේ අමිහිර විඳින රටකි. එහෙත් එරට රාජ්‍ය භාෂාව ද බහුතරයේ භාෂාවද පෘතුගීසි භාෂාවය. එබැවින් මම ‘‘මම ලාංකිකයකු මිස පරංගියෙකු නොවෙමි’ යි ඔහුට පවසා ලංකාව තුළ පෘතුගීසි බලපෑම ගැන ඔහු සමග සංවාදයක් ඇරඹීමි. එතැන් පටන් ලාංකිකයන් අතර භාවිත පෘතුගීසි වචන මෙන්ම වෙසෙසින්ම වාසගම් (පෙළපත්නාම) ගැන ඔහුගෙන් විමසා ඒවා​ෙය් අරුත දැනගතිමි. පෘතුගීසි – ඉංග්‍රීසි ශබ්ද කෝෂයක උපකාරයෙන් එම වචනවල සැබෑ මූලය සොයා ගැනීමට තැත් කළෙමි. ඒවා සටහන්කර තබා ගතිමි. මෙම පෘතුගීසි වාසගම්වල මුල් අදහස සොයා ගැනීමේදී පරෙස්සමින් හා කල්පනාකාරීව එය මෙහෙයවීම් මන්ද බොහෝ සිංහල – පෘතුගීසි වාසගම් එහි මුල් වචනය ලෙසම අද භාවිත නොවන බැවිනි. තවද අන්තර්ජාලය ඔස්සේ විශ්වාසවන්ත මූලාශ්‍ර පමණක් ඇසුරු කරමින් පෘතුගීසි වාසගම් පිළිබඳව අප කළ ​ෙසායා බැලීම ද මෙම අධ්‍යයනය වඩාත් පලබර කිරීමට හේතු විය. ඇත්ත වශයෙන්ම මෙවැනි ගවේෂණයක් මගින් අප බලාපොරොත්තු වන්නේ අප රටේ ජනතාව වඩාත් දැනුම්වත් ජනතාවක් වනු දැකීමය.

අප අධ්‍යයනය කළ මෙම පෘතුගීසි වාසගම් මෙන්ම ලාංකේය හා භාරතීය වාසගම් ද විමසා බලන කල යුරෝපයට වඩා පෙරදිග අපගේ වාසගම් තම ගෞරව බහුමානය ප්‍රකාශ කරන බව පෙනී යයි. Black, Brown, White, Clark, Bush, Rider ආදී බටහිර වාසගම් ඉතා සරල මෙන්ම තවත් කෙනෙකුගෙන් තමන් හුදෙක්ම වෙන් කර හඳුනා ගැනීම පමණක් ඉන් අරමුණ කරන්නේ දැයි අපට කල්පනා වෙයි. එහෙත් සිංහල, දෙමළ වාසගම් එසේ නොවේ. ඒ පිළිබඳව අප වෙනම අධ්‍යයනය කළ යුතු බව පෙනී යයි. ලංකාවේ භාවිත පෘතුගීසි වාසගම්වලින් බොහොමයක්ම පෙර කී යුරෝපීය වාසගම් ගත් මගම ගන්නා බව පෙනීයයි. ‘වාසගම’ යනුවෙන් අප විටෙක හැඳින්වූවත් ‘Surname’ යනුවෙන් ඉංග්‍රීසි බසින් අප හඳුන්වන සංකල්පය ‘පෙළපත් නාමය’/ ‘ගෝත්‍ර නාමය’ ලෙස හැඳින්වීම වඩාත් යෝග්‍ය වන බව පෙනී යන්නේ ‘වාසගම’ යන්නෙන් ‘වාසය කරන ගම’ නොහොත් ‘මුල් ගම’ ද අදහස් කෙරෙන බැවිනි. එහෙයින් ගත් කල, දැන් අප විමසා බලන්නට යන්නේ ලංකාවේ භාවිත පෘතුගීසි ‘වාසගම්’ නොව ‘පෙළපත් නාම’ යැයි කිව හැකිය. දැන් අපි ඒවා එකින් එක ගෙන ඒවායේ පැටිකිරිය විමසා බලමු.

පෙරේරා – මෙය ලංකාවේ වඩාත්ම භාවිත පෘතුගීසි පෙළපත් නාමවලින් එකකි. පෘතුගීසි යෙදුම:- Pereira (පෙරෙයිරා) අර්ථය:- ​‘පෙයාර්ස් ගස’

සිල්වා – ‘සිල්වා’ යනු පෘතුගීසි නොව ලතින් වචනයකි (ලතින් බස සියලු යුරෝපා භාෂාවල මාතාව බව අපි දනිමු) ලතින් යෙදුම: Silva (සිල්වා)
අර්ථය: ලන්ද, ලඳු කැලෑව, Silva යන්න විටෙක De Silva ලෙසද භාවිත වේ ‘De’ යන්න ඉංග්‍රීසි බසින් ගත්කල ‘Of’ යන අරුත දෙයි. ඒ අනුව ‘De Silva’ යනු ලන්දේ/ ‘ලඳු කැලෑවේ’ යනුවෙයි.

ද මෙල් – පෘතුගීසි යෙදුම – De Mello (දෙ මෙල්ලෝ) අර්ථය – ‘මී පැණි’ අනුව De Mello හෙවත් De Mel යනු ‘මීපැණිහි’/‘මීපැණියේ’ යනුයි.

කෲස් – පෘතුගීසි යෙදුම: Cruz (කෲස්) අර්ථය – ‘කුරුසිය’ 100% ක්ම පාහේ ක්‍රිස්තියානින් වන පෘතුගාලයේ මෙබඳු ආගමික සංකල්පයක් පෙළපත් නාමයක් සේ යොද‌ා ගැනීම පුදුමයට කරුණක් නො​ෙව්.

පීරිස් – පෘතුගීසි යෙදුම – Pires (පීරෙස්) – අර්ථය – පීරිසිය ​ෙම් අනුව ‘පීරිසිය’ යනු වචනය මෙන්ම ‘කෝප්පය’ යන වචනයද පෘතුගීසි ආභාසයෙන් සිංහලයට නැඟිණැයි කල්පනා කළ හැකිය. පෘතුගීසි බසින් කෝප්පය Copo (කෝපෝ) යනුය.

පාරිස් – පෘතුගීසි යෙදුම: Paris (පරීස්) – අප කළ විමර්ශනයට අනුව පෘතුගීසි බසින් පරීස් යනු ප්‍රංශයේ අගනුවර වන පැරීසියයි. පැරීසියේ කලක් තිස්සේ සාම්ප්‍රද‌ායිකව පෘතුගීසි සම්භවයක් සහිත ජන කොටසක් ජීවත් වෙති. මේ ජනතාව පෘතුගීසින් විසින් හඳුන්වනු ලැබුවේ ‘පරීස්’ යනුවෙනි. මේ සිංහල භාවිතයේදී මේ වාසගම ලැබූ අය ‘පාරිස්’ ලෙස හඳුන්වනු ලබති.

ඩයස් – පෘතුගීසි යෙදුම – Dias (දියාස්) – අර්ථය : දිනයන් පෘතුගීසි බසින් Dia (දියා) යනු ‘දිනය’ යි dias (දියාස්) යනු එහි බහුවචනමය ස්වරූපයයි. මාගේ පෙර කී මිතුරා පෙන්වා දුන් ආකාරයට ‘දිනය උදා කරන’ (දිනකර) යන අර්ථයෙන් මෙම Dias යන්න ‘සූර්යයා’ ලෙසද අර්ථකථනය කළ හැකිය.

මෙන්ඩිස් – පෘතුගීසි යෙදුම – Mandaz (මන්දෙස්) Menendez (මෙනෙන්දෙස්) අර්ථය – ‘මෙනෙන්දෝ ගේ පුත්‍රයා’ මෙනෙන්දෝ යනු යුරෝපයට බලපෑ කතෝලික ශුද්ධවන්තයෙකු සේම රාජ කුමාරයෙකි. ඉංග්‍රීසි බසින් St.Hermangild (සා.හර්මන්පිල්ඩ්) ලෙස හඳුන්වන්නේත් මෙතුමාය. ක්‍රි.ව 6 වැනි සියවසේ ජීවත් වූ ස්පාඤ්ඤ රජකුමරෙකු වූ මෙතුමා කතෝලික විශ්වාසය උදෙසා දිවි පිදූ ප්‍රාණ පරිත්‍යාගියෙකි. මේ පෙළපත් නාමයේ අර්ථය එම ‘මෙනෙන්දෝගේ පුත්‍රයා’ යනුය.

ප්‍රනාන්දු – යුරෝපයේ රටවල් රැසක පෙළපත් නාම හෝ පුද්ගල නාමයක් ද ලෙස ප්‍රනාන්දු යන්න ප්‍රකටය.පෘතුගීසි යෙදුම – Fernando (ෆර්නාන්දෝ)
ජර්මානු රජ පෙළපතක් වන ෆර්ඩිනන්ඩ් (Ferdinand) යන්නෙහි පෘතුගීසි නාමය ලෙස ‘Fernando’ හැඳින්විය හැකිය. මෙම නාමයම Ferdinand ලෙස ජර්මන්, චෙක්, ලන්දේසි, ඉංග්‍රීසි, ප්‍රංශ මෙන්ම පෝලන්ත යන භාෂාවලින්ද Hernando (හෙර්නන්දෝ) ලෙස ස්පාඤ්ඤ භාෂාවෙන්ද නන්දෝර් ලෙස හංගේරියානු භාෂාවෙන්ද භාවිතවේ. ප්‍රනාන්දු යනු එහිම ලාංකේය ප්‍රකාශනයයි.තවද තම ප්‍රනාන්දු යන පෙළපත් නාමය ‘ප්‍රනන්ද’ හෝ ‘පුරනන්ද’ යනුවෙන් වඩාත් දේශීයත්වයට නඟාගත් ස්වල්ප දෙනෙකු සේම තම නාමයේ මුල් පෙළපත් නාමය නමේ අගට ගෙන ප්‍රනාන්දු යන්න භාවිත නොකරන වර්ණකුලසූරිය, කුරුකුලසූරිය, මිහිඳුකුල සූරිය, වර්ණකුල, මිහිඳුකුල, කොඩිප්පිලි හෝ වීරක්කොඩි හෝ වැනි නම් දරන ප්‍රනාන්දුවරු ද සිටිති

නෝනිස් -ස්පාඤ්ඤ නාමය : ‘නූනෝ’/ පෘතුගීසි නාමය ‘නූනෙස්’ අර්ථය : ‘නුනෝගේ පුත්‍රයා’ මීට අමතරව මෙය පෘතුගීසි අරුතින් ‘නවවෙනි’ හෝ ‘සීයා’ යනුද වෙයි නූනෝ යනු 14 වැනි සියවසේ සිදු වූ කස්තීලියානු ආක්‍රමණයට එරෙහිව සටන් වැදී පෘතුගාලය බේරාගත් වීරෝදාර රණවිරුවෙකි ‘නූනෙස්’ ඔහුගේ පුත්‍රයා ලෙස අර්ථකථනය කෙරෙන අතර සිංහලයේදී එය ‘නෝනිස්’ නම් වෙයි.

ගෝමස්/ගෝමිස් – මෙම පෙළපත් නාම දෙකම එකම ස්පාඤ්ඤ මූලාශ්‍රයකින් සම්භව වී යැයි සැලකිය හැකිය. ස්පාඤ්ඤ යෙදුම: විසිගොතික් සංකල්පයක් වූ ‘ගෝමා’ මෙහි මූල්‍ය ජර්මානු ‘ගුමා’ (Guma) යන්න අර්ථය:- ‘මිනිසා’ ඒ අනුව ‘​ෙගා්මෙස්’ යනු ‘මිනිස් පුත්‍රයා’ (මනුෂ්‍ය පුත්‍රයා) ලෙස ගත හැකිය.

​ෆොන්සේකා – ලතින් මූලය : Fon+Sicca අර්ථය : ​Fon (උල්පත) Sicca (වියළි බිම) වියළි බිමෙහි උල්පත තවද මෙය කාන්තාරයක ක්ෂේම භූමියකට ඉඟි කරයි.

කොස්තා – පෘතුගීසි යෙදුම: Costa (කොස්තා) පෘතුගීසි අර්ථය : ගං ඉවුර, බෑවුම, මුහුදු වෙරළ ලතින් අර්ථය: පැත්ත, අයින, කෙළවර, අද්දර

වාස් – හංගේරියානු මූලය : Vass අර්ථය – යකඩ මෙමගින් කම්මල් රැකියාවේ නියුක්ත වූවන්, යපස් පතල්කරුවන් හෝ යකඩ භාණ්ඩ වෙළඳාමේ යෙදෙන්නන් අදහස් කෙරේ. එසේම මෙම පෙළපත් නාමය මගින් අති විශිෂ්ට චරිතයක්. ප්‍රබල විඳ දරා ගැනීමේ හැකියාවක්ද ප්‍රකාශ කෙරේ.

අල්විස් – ජර්මානු මූලය : Alfher (පුද්ගල නාමයකි) පෘතුගීසි නාමය: Alves ( අල්වෙස්) අර්ථය – අල්ෆර්ගේ පුත්‍රයා (Alves) ලංකාවේදී මෙය Alwis (අල්විස්) බවට පත් වී ඇත.

රුද්‍රිගු – ස්පාඤ්ඤ මූලය – රොද්‍රිගෝ දියාස් දෙ වීවාර් (පුද්ගල නාමයකි) එකො​ළොස් වෙනි සියවසේ විශිෂ්ට හා කැපී පෙනුණු ස්පාඤ්ඤ සේනාධිපතියෙකු වූ මොහුගේ නාමයට ගෞරව පිණිස රොද්‍රිගු යන මොහුගේ නාමය පෙළපත් නාමයක් සේ පසුකාලීනව භාවිතයට ගැනුණු බව පෙනී යයි.පුරාණ ජර්මානු බසෙහි Hroderic ලෙස හඳුන්වනු ලැබූ මේ නාමය ස්පාඤ්ඤ, පෘතුගීසි හා ඉතාලි භාෂාවලින් Roderico (රොදෙරිතෝ) ලෙසද කතෝලාන බසෙහි Roderic (රොඩෙරික්) ලෙසද ඉංග්‍රීසියෙහි Rod හා Roddy ලෙසද ප්‍රංශ බසෙහි රොද්‍රිගු (Rodrigue) ලෙසද පෘතුගීසි හා ස්පාඤ්ඤ භාෂාවලින් තවත් විටෙක Ruy,Rui හෝ Ruiz ලෙසද මේ නම භාවිත කෙරේ. සාමාන්‍ය සිංහල භාවිතයේදී රුද්‍රිගු නම් වන මේ පෙළපත් නාමය ඉංග්‍රීසිකරණ ලක්ව Rodrigo (රොඩ්රිගෝ) ලෙස වර්තමාන ‘පොෂ්’ ඉංග්‍රීසියෙහි (Posh English) භාවිත වේ.

සුවාරිස් – ජර්මානු මූලය :- Suero (සුඑ්රෝ) Su+heri ලෙස මේ වචනය කොටස් දෙකකට බෙදා දැක්විය හැකි නමුත් පෘතුගීසි විශේෂඥයන් පවා තවමත් ‘su’ යන්නෙහි අර්ථය කුමක්දැයි නිශ්චිත කරගෙන නැත. එහෙත් ‘heri’ හෙවත් ‘hari’ යනු ‘හමුදාව’ය

සොයිසා – පෘතුගීසි මූල්‍ය : Souza (සූසා) මුල් කාලයේ මේ නාමය යොදා ගැනුණේ පෘතුගාලයේ සූසා ගංගා නිම්නයේ පදිංචි වැසියන් හඳුන්වනු පිණිසය. මේ ගංගාවට Souza යන නම ලැබීමට ලතින් වචන දෙකක බලපෑමක් ඇතැයි සැලකේ. එනම් Salsus (ලවණමය) හෝ Saxa (ගල් සහිත) යන වචන දෙකම හෝ ඉන් එකක් හෝ ඊට බලපාන්නට ඇතැයි පිළිගැනේ. සොයිසා යැයි කී විට ලංකාවේ කාටත් සිහිවන නගරය මොරටුවයි.

අල්මේදා – අරාබි මූලය – ‘අල් මයිද‌ා’ (Al Maida) අර්ථය – කලක් ඉස්ලාමීය ආක්‍රමණයට යට වී සිටි ස්පාඤ්ඤයේ එක් නගරයක් අරාබින් විසින් හඳුන්වනු ලැබූයේ ‘අල් මයිදා’ යනුවෙනි. එහි අර්ථය ‘සානුව’ යනුය. ‘අල්මේයිදා’ ලෙස ස්පාඤ්ඤකරණයට ලක් වූ මේ පෙළපත් නාමයෙන් එම නගරයේ වැසියන් හඳුන්වනු ලැබීය. මෙම පෙළපත් නාමය ලංකාවේදී භාවිත වන්නේ ‘අල්මේදා’ වශයෙනි. ලංකාවට ගොඩබට ප්‍රථම පෘතුගීසි කප්පිත්තා වූයේ ලොරෙන්සෝද අල්මේදාය.

කබ්රාල් – ලතින් මූලය: Capralis (කප්‍රාලිස්)අර්ථය: එළුවන් ලගින තැන – මේ පෙළපත් නාමය එළුවන් බලාගන්නා පුද්ගලයෙකු හැඳින්වීමට යොදා ගත්තා විය හැකිය. ලංකාවේදී මෙය ‘කබ්රාල්’ ලෙස භාවිතවේ.

කොරයා – Cora (කෝරා) අර්ථය – හදවත ලතින් මූලය – Cora (​ෙකාරෙයා) අර්ථය – ලතින් බසින් කොරියානු රාජ්‍යය හැඳින්වීමට යෙදෙන මේ යෙදුම හැරෙන්නට මෙම පෙළපත් නාමය සාධාරණීකරණය සඳහා සොයාගැනීමට අපට සොයාගත හැකි එකම සාධාරණ වචනය වන්නේ ‘හදවත’ යන අරුත දෙන ‘Cora’ (කෝරා) යන්නය. මේ අනුව ‘හෘදයාංගම’ වැනි අරුතකින් Cora (කෝරා) යන්න කොරයා’ ලෙස සකසාගත්තේදැයි කල්පනා කළ හැක.

පැස්කුවල් – පෘතුගීසි මූලය: Pascoa අර්ථය – පාස්කුව (පාස්කු මංගල්‍යය) අර්ථය: මෙම නාමය ‘පාස්කු මංගල්‍යය හා සබැඳි අරුතක් ගෙන එයි. ක්‍රිස්තියානින්ගේ ඉහළම තලයේ මංගල්‍යය නත්තල නොව පාස්කුවයි. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දුක් විඳීම, මරණය හා උත්ථානය සමරන පාස්කු මංගල්‍යය නත්තලට වඩා වැදගත් මංගල්‍යය වෙයි. පැස්කුවල් යන පෙළපත් නාමය Pascoa (පාස්කොආ) යන පෘතුගීසි යෙදුම හා බැඳෙන බව මෙසේ තහවුරු වේ.

පෘතුගීසි ආභාසයෙන් මෙරටට ලැබුණු පෙළපත් නාම පිළිබඳ මා කළ විමර්ශනය ඵලදායක වී යැයි කල්පනා කරමි. එසේම තම පෙළපත් නාමය පිළිබඳ සැබෑ තතු දැන ගැනීම බොහෝ දෙනෙකුගේ සතුටට හේතුවිය හැකියැයි හඟීමි. එහෙත් මේ පෙළපත් නාම පිළිබඳ තවත් වෙනස් අර්ථකථන ද තිබීමට ඉඩ ඇත. තවත් එබඳු අධ්‍යයනයන් වේ නම් ඒවාත් මේ මොහොතේ කරළියට පැමිණේවායි පතමි.

උපුටා ගැනීම -hodamagossip

Leave a Reply

Your email address will not be published. Required fields are marked *